Our Heritage
History of the Temple
වලානේ සිරි සිද්ධත්ථාරාම වංශ කථාව
ලක්දිව වර්තමාන ආගමික හා ජාතික සදාචාරාත්මක පිබිදීම ආරම්භ වූයේ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ යොගෙනි. මහනුවරින් ආරම්භ වූ එම සංඝ පරම්පරාවෙන් අනතුරුව ලක්දිව පුරාම ව්‍යාප්ත විය. භාෂා ශාස්ත්‍රෝදය හා ආගම ධර්මය පිළිබඳ ව්‍යාප්තිය සිදුවූයේ ද එම සමඟය.
වැලිවිට සංඝරාජ හිමියන් ගේ තෙවන ශිෂ්‍යවරයාණන් වහන්සේලා දොළොස් පක්ෂතුයේ ප්‍රධාන සංඝනායක ගිනිගත්පිටියේ සංඝරක්ෂිත යතිවරයාණන් වූහ. ඔබගේ ශිෂ්‍යවරයෙකු වූ ද, එවකට මහනුවර-මල්වතු මහා විහාරයේ සිට එගොඩ උයන ශ්‍රී ජිනේන්ද්‍ර චෛතාරාම පුරාණ විහාරස්ථානයට පළමුවෙන් ම පැමිණියා වූ ද, මදුරාවල ධම්මින්ද හිමිපාණන් ගෙන් පහත රට ද තවත් සංඝ පරම්පරාවන් කීපයක්ම පහළ වූයේ ය. මදුරාවල ධම්මින්ද යතිවරයාණන්ගේ ශිෂ්‍ය මැදිමාලේ රේවත හිමිපාණන්ගේ ප්‍රධාන ශිෂ්‍යවරයන් වන,
පෑළියගොඩ - ශීලවංශ මහා නායක මාහිමි හා වලානේ - ශ්‍රී සිද්ධත්ථ මාහිමි ද, යන මහා ථේරවරුන් ගෙන් ද මෙබඳු වූ සංඝ පරම්පරාවන් දෙකක්ම ආරම්භ වෙයි. වර්ෂ 1855 දී පිහිටුවා ගන්නා ලද ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවට අයත් වූ පක්ෂව මහා විහාර පාර්ශ්වයන් ගෙන් දෙකක්ද ම ආරම්භ වන්නේ ද මෙම මාහිමිවරුන් දෙනම ගෙනි.
වර්තමාන බෞද්ධ ලෝකයාගේ පිනට පහළ වූ කනක තරුවක්ද බඳු වූ වලානේ සිද්ධත්ථ කුමාරුවාණෝ වර්ෂ 1811 මාර්තු මාසයේ දී පානදුර නම් වූ ඓතිහාසික පුරවරයේ වලාන නම් වූ ගම්වරයේ දී මෙලොව එළිය දුටුවාහු ය. ඔබ දොළොස් හැවිරිදි වෙත්ම එවකට මේ ගම් පියසේ වැඩ විසූ මහනුවර අස්ගිරි මහා විහාර පාර්ශ්වයට අයත් වූ ගිඩන්ව ගුණරතනාභිධාන හිමිපාණන් ගේ මග පෙන්වීමට අනුව මැදිමාලේ රේවත හිමිපාණන්ගේ ශිෂ්‍යයෙකු වශයෙන් 1813 දී මහ අරුත්ගොඩ ඉන්ද්‍රසාරාරාම මහා විහාරයේදී ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත් වූහ.
ස්වකීය ගුරු හිමිපාණන් වහන්සේලා ඇසුරේ සිත් පිළිවෙත් හා බණ දහම් මැනවින් ප්‍රගුණකොටු ගත් සිද්ධත්ථ හේරණපාණන් විසි වයසට සපැමිණි කල්හි වර්ෂ 1831 වෙසක් මාසයේ දී මහනුවර මල්වතු මහා විහාරස්ථ ඓතිහාසික මංගල උපෝෂථාගාරයේදී ගල්ගිරියාවේ සිරි ධම්මරක්ෂිත සුමංගලාභිධාන අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා මැදිමාලේ රේවත යතීන්ද්‍රයාණන් වහන්සේගේ ම ශිෂ්‍යවරයෙකු වශයෙන් උපසම්පදා ශීලයේ ද පිහිටවනු ලැබූහ. එම අවස්ථාවේදී ප්‍රසාදයට පත් වූ මල්වතු කාරක සඝ සභාව විසින් "සිරි සිද්ධත්ථ" යන ගෞරව නාමය ද අප යතිවරයාණන් වහන්සේ වෙතැ ප්‍රදානය කරන ලදී.
සිරි සිද්ධත්ථ තරුණ හිමියන් වැඩි දුර අධ්‍යාපනය ලබනු පිණිස පැල්මඩුල්ලේ පුරාණ මහා විහාරස්ථානය වෙතැ පැමිණියේ මින් අනතුරුවය. එතැන් සිට 1835 දී ඔබගේ ද ශිෂ්‍ය ඉඳුරුවේ සුමංගල හිමියන් වෙතැ පැමිණ ස්වකීය අධ්‍යාපන කටයුතු සපුරා ගත්හ. මේ වනවිට සිරි සිද්ධත්ථ හිමිපාණෝ සම සත් විසි වැනි වියේ (27) පසු වූහ.
වර්ෂ 1838 සිට 1844 තෙක්ද පුරා සය වසරක්ද ම තම නිජභූමිය වූ වලානේ සිරි සිද්ධත්ථාරාමයේ ම වැඩ වෙසෙමින් ආගමික සහ අධ්‍යාපන කටයුතු වලැ නියැලුන අප යතිවරයාණෝ අනතුරුව රත්මලානේ පුරාණ විහාරයටත් පසුවැ පරම ධම්ම චේතියාභිධාරාමයටත් පැමිණ තම උතුම් සේවා වඩාත් ම පුළුල් බවට පත් කළාහු ය. ඇත්ත වශයෙන්ම වලානේ ශ්‍රී සිද්ධත්ථ යතිවරයාණන් වහන්සේ ගේ උදාර සේවා මුළු ලොවැ පුරාම ව්‍යාප්ත වන්නට වූයේ ද මෙතැන් සිටය.
වර්ෂ 1867 දී පැල්මඩුල්ලේ පුරාණ විහාරයට ධර්මශාලා මන්දිරයේදී ආරම්භ කරන ලද ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථ සංශෝධනය සඳහා එවකට ලක්දිව වැඩ සිටි සියලුම බහුශ්‍රුත පඬිවරුන් කැඳවා ගන්නා ලදී. මෙම විද්වත් සභාවේ ප්‍රධානත්වය ඉසුළෑවෝ ද වලානේ සිරි සිද්ධත්ථ මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ම වූහ. ඒ වන විටැ උන්වහන්සේ වෙතැ පැවති අසනීප ගති උත්සන්න වූ හෙයින් එහි මූලිකත්වය තම ධර්මාන්තේවාසී වූ හික්ෂදකඩුවේ ශ්‍රී සුමංගල හිමියන් වෙතැ පවරා දී ආපසු රත්මලානේ පරම ධම්ම චේතිය මහ පිරිවෙනට වැඩම කළහ.
මේ වනවිටැ සපනස් වියේ පසු වූ අප යතිරූපයාණෝ වර්ෂ 1868 පෙබරවාරි මස දහහත් වැනි ගුරු දින රැ වූ විසි හය පැයේ දී අපවත් ව වදාළහ.
ශිෂ්‍යවරයෝ
වලානේ ශ්‍රී සිද්ධත්ථ මහා ස්වාමීන්ද්‍රයන් ගේ සිසුවරයන් ලෙසින් පැවිදි බව හා උපසම්පදා ලත් සිසු පිරිස අටලොස් නමක්ද වූහ. වර්ෂ 1878 වෙසක් මස පුන් පොහෝ දිනයේ (වලානේ සිරි සිද්ධත්ථ හිමියන් ගේ අපවත් වීමෙන් වසර දහසයකට පසු) රත්මලානේ පරමධම්ම චේතිය පිරිවෙනේ දී ලියා අත්සන් තබා ඇති සම්මුති පතිකාවට අනුව එම සිසු පිරිසට අයත් හිමිවරු පිළිවෙළින් මෙසේ වෙති:
විහාරාරාම බෙදා ගැනීම
ශ්‍රී බුද්ධ වර්ෂ 2421 (සම්මත වර්ෂ 1878) වෙසක් මස පුන් පොහෝ දින රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙනේ රැස් වූ වලානේ සිරි සිද්ධත්ථ හිමිපාණන් ගේ ශිෂ්‍ය සියලු දෙනා විසින්ම ලියාට අත්සන් තබා ඇති සම්මුති පතිකාවට අනුව තම පරපුරට අයත් වැ තිබූ විහාරාරාම පස පාලනය සඳහා එම සිසුවරයන් අතර බෙදා ගෙනැ ඇත්තේ මෙසේය:
- රත්මලානේ පරමධම්මචේතියාරාමය — දෙහිපිටියේ සංඝරක්ෂිත ථේරුන් වහන්සේ
- වලානේ සිද්ධත්ථාරාමය — රත්මලානේ සුමනතිස්ස ථේරුන් වහන්සේ
- මොරටුවේ විහාරස්ථානය — පාලාගම බුද්ධරක්ෂිත ථේරුන් වහන්සේ
- ගල්තෑවේ ආරාමය — තියඹරාහේනේ විමලතිස්ස ථේරුන් වහන්සේ
- කොල්ලුපිටියේ ආරාමය — රත්මලානේ විපුලතිස්ස ථේරුන් වහන්සේ
විහාරාධිපතිවරු
සිරි සිද්ධත්ථාරාම මහා විහාරයේ ආධිපත්‍යය ඉසුළූ හිමිවරු
ගිඩන්ව ගුණරතන මහාස්ථවිරපාදයාණන් වහන්සේ
සිරි සිද්ධත්ථාරාම මහා විහාරයේ සමාරම්භකයාණන් වහන්සේ. මහනුවර අස්ගිරි මහා විහාරවාසී. ඉන් පසු උන්වහන්සේගේ එක ම ශිෂ්‍ය රත්නය වන වලානේ සිරි සිද්ධත්ථ යතීන්ද්‍රයාණෝ සම්මත වර්ෂ 1868 පෙබරවාරි 17 (සෙනසුරාදා) දෙක් ම ආධිපත්‍යය ඉසුළූහ.
රත්මලානේ සුමනතිස්ස ථේරුන් වහන්සේ
සිරි සිද්ධත්ථ හිමිපාණන් ගේ තෙවන ශිෂ්‍යවරයාණන් වූ රත්මලානේ සුමනතිස්ස යතීන්ද්‍රයාණන් වහන්සේ විසින් වර්ෂ 1902 දෙකම් මෙම විහාරාධිපති පදවිය උසුලන ලදී.
වලානේ මංගල නා හිමි
සිය ගුරු හිමිපාණන් ගෙන් පසුව නීත්‍යානුකූලව විහාරාධිපති පදවියට පත් වූ වලානේ මංගල හිමිපාණෝ උන්වහන්සේගේ අපවත් වීම සිදුවන තෙකම් එනම් වර්ෂ 1936 ජූලි මස 24 වැනිදා දෙකම් මෙම විහාරාධිපති පදවිය ඉසුළූහ.
කිරුළපතේ ශ්‍රී විමලතිස්ස මහා නා හිමි
කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අතිගරු මහානායක මාහිමිපාණෝ විහාරාධිපති ධුරය දැරූහ. වර්ෂ 1955 දී සිදුවූ උන්වහන්සේ ගේ අපවත්වීමෙන් පසු විදයාගම ධම්මරක්ෂිත යතිවරයාණෝ (1955 සිට 1961 සැප්තැම්බර් 29 දා දෙකද) මෙම විහාරාධිපති පදවිය හේබවූහ.
මහෝපාධ්‍යාය පඬිත බෙම්මුල්ලේ සිරි සෝරතාභිධාන ප්‍රධාන සංඝනායක හිමිපාණෝ
සම්මත වර්ෂ 1961.09.29 දා සිට මේ දක්වාම මහෝපාධ්‍යාය පඬිත බෙම්මුල්ලේ සිරි සෝරතාභිධාන ප්‍රධාන සංඝනායක හිමිපාණෝ සිරි සිද්ධත්ථාරාම මහා විහාරාධිපති පදවිය හේාබවන සේක. සම සතළිස් වසරකටත් අධික වූ වර්තමාන විහාරාධිපති බෙම්මුල්ලේ සිරි සෝරත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ ආධිපත්‍යය යටතේ සිරි සිද්ධත්ථාරාම මහා විහාරය සියලුම විහාරාංගයන් ගෙන් සමලංකෘත දර්ශනීය විහාරස්ථානයක්ද බවට පත් වූ බව කාහටත් ප්‍රදේශවාසිහු ඉමහත් වූ ගෞරවයෙන් යුතුව පවසති.