Our Story
About Us
සිරි සිද්ධත්ථාරාම පුරාවත
සිරි සිද්ධත්ථාරාම විහාර පිහිටා ඇත්තේ පානදුර පුරවරයට අයත් වලාන නම් ග්‍රාමයේ. පරණ ගාලුපාතේ සිට නැගෙනහිර දෙසට ඉදිගහ තොටුපල බස් පාතේ සැතපුම් 1/8ක් පමණ ගියවිට පාතේ වම් පසින් කුඩා කඳු ගැටයක් මත තැනිතලා භූමි භාගයක පිහිටා ඇති දැකුම්කළු මෙම විහාරස්ථානය දැකිය හැක. පානදුර ප්‍රදේශයේ ඇති ගම්මාන වලින් විශාලතම ග්‍රාමය වන බැවින් බෞද්ධ සිද්ධස්ථාන කීපයක්ම එහි පිහිටා තිබේ. ඒ සියල්ල අතරින් "මහපන්සල" ලෙස හඳුන්වනුයේ මෙම සිරි සිද්ධත්ථාරාම විහාරස්ථානය යි.
ඓතිහාසික වශයෙන් බලන කල මෙම විහාරස්ථානයට වර්ෂ 186කට වැඩි ඉතිහාසයක් ඇත. වර්ෂ 1815 දී පමණ මහනුවර අස්ගිරි විහාර පාර්ශ්වයට අයත් ගිඩන්ව ගුණරතන මාහිමිපාණන්වහන්සේ වස්වසාන කාලයක ආසන්නයේ අහම්බෙන් මේ ප්‍රදේශයට වැඩමවා ප්‍රදේශයේ එවකට තිබූ එකම විහාරස්ථානය වන සරණපාලාරාමයේ (දොඩන්දූව පන්සල) අධිපති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට හමුවී උන්වහන්සේගේ මග පෙන්වීම පරිදි වලාන - බෙම්මුල්ලේගම දෙගෙමෙහි විසූ පින්වතුන්ගේ ආරාධනයෙන් වන ලැහැබක්ව පැවති මේ භූමියේ අද පවා දැකනට ඇති දේවාධිගෘහිත වෘක්ෂයක් වූ පැරණි නා රුක සේවනේහි කුටියක් වස් විසීමෙන් මේ පූජනීය ස්ථානය ආරම්භවී තිබේ.
ඒ පූජනීය නා වෘක්ෂය වෙත දේවනුකම්පාව ලබා ගැනීම සඳහා පැමිණි උපාසිකාදීන් අතර සිය මිත්තණිය සමග නිතර පැමිණි කුඩා දරුවෙකු ගිඩන්ව හිමිපාණෝ දෙමව්පියන්ගේ අවසරය ලබා ගෙන පැවිදි භූමියට පත් කළහ. පසුකල බෝධිසත්ව ගුණෝජේත පණ්ඩිත ශිරෝමණී වලානේ ශ්‍රී සිද්ධාර්ථ මාහිමි නමින් දේශ දේශාන්තර කීර්තියට පත්වූයේ ගිඩන්ව මාහිමිපාණන් එදා පැවිදි කරවූ ඒ කුඩා දරුවාය. සිද්ධාර්ථ කුඩා සාමණේර ස්වාමීන් වහන්සේ පූජය නැදිමාතල් දේවත මාහිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස වර්ෂ 1832 දී මල්වතු මහා විහාර උපෝසථාගාරයේදී උපසම්පදා පදවියට පත්වූහ.
බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ධම්ම විනය හා ශිල්ප ශාස්ත්‍ර උගත් සිද්ධාර්ථ හිමියෝ සිය වලානේ විහාරස්ථානයට පැමිණ තමන් වෙත පැමිණි ගිහි පැවිදි ශිෂ්‍යනට උගන්වමින් සිටින අතර ශිෂ්‍ය පිරිස වැඩිවීමත්, ප්‍රදේශ සම්පත්තියත්, දායක පින්වතුන්ගේ ආරාධනයත් නිසා වලානේ විහාරස්ථානය ශිෂ්‍යවරයෙකුට පවරා 1841 දී රත්මලානට වැඩමවා පරම ධම්ම චේතියාරාමය (අද පරම ධම්ම චේතිය පිරිවෙන) ආරම්භකර තිබේ.
වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පාලනය යටතේ පැවති විහාරස්ථාන පහකි: (1) රත්මලානේ පරමධම්මචේතියාරාමය, (2) වලානේ සිරි සිද්ධත්ථාරාමය, (3) පානදුරේ ගල්තෑවේ සිද්ධත්ථාරාමය, (4) පල්ලිගොඩැල්ලේ විහාරස්ථානය, (5) කොල්ලුපිටියේ වාලුකාරාමයයි. ඒ මාහිමියන් වහන්සේ අපවත්වූ පසු ශිෂ්‍යවරයන් වහන්සේලා (17නම) රැස්ව සාකච්ඡා කොට කතිකාවතක් සාදා එම විහාරස්ථාන වල පාලනය බෙදාගෙන තිබේ. ඒ අනුව මෙම වලානේ සිරි සිද්ධත්ථාරාමේ ආධිපතය පැවරී ඇත්තේ රත්මලානේ සුමනතිස්ස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේටය.
පරපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාව ආරම්භ කිරීමේ සිටම අඛණ්ඩ සම්බන්ධතාවයක් පවත්නා සහ පරපුරකි. එම සංඝ සභාව පිහිටුවීමේදී මූලික කටයුතුකල මහා ස්වාමීන්ද්‍රයන් පස් නම අතර වලානේ ශ්‍රී සිද්ධාර්ථ මාහිමියෝ ද වෙති. වර්තමාන විහාරාධිපතීන් වහන්සේ ද රත්මලාන විහාර පාර්ශ්වයේ උපාධ්‍යාය පදවිය නායක පදවිය හා සංඝ සභාවේ ලේඛන භාරකාර ධුරය ද දරති.
ක්‍රමික දියුණුව
කටුමැටි ගසා සැදූ කුඩා කුටියක ගිඩන්ව මාහිමිපාණන් වහන්සේ වස් විසීමෙන් ආරම්භ වූ විහාරස්ථානය පළමුව ඉදිකර ඇති ස්ථිර ගොඩනැගිල්ල නම් ඒ නා රුකට උතුරු දෙසින් භූමියේ පහත්ම තැන ඉදිකර ඇති දාන ශාලාව හඳුන්වන ගොඩනැගිල්ලයි. 1912 වනතුරුම සංඝාවාසය හා දානශාලාව වශයෙන් පාවිච්චි කර ඇත. එය කොබොක්ගල් වැලි මැටියෙන් බැඳ සාදා තිබේ.
ප්‍රදේශවාසීන් තුල විහාරස්ථානය පිළිබඳ ඇල්ම හා ගෞරවය දියුණුවත්ම ක්‍රමයෙන් භූමිය එලිපහලවී ගොඩනැගිලි තැනීම ආරම්භවී තිබේ. රත්මලානේ සුමනතිස්ස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරුන් අතර එක් නමකවූ කාර්යශූර එඩිතර වලානේ අග්ගඤ්ඤ ස්වාමීන් වහන්සේ හිතවතුන්ගේ සහාය ඇතිව කැලෑ භූමිය එලිපෙහෙළි කොට අක්කර රිකඩ්ඩු බිම් ප්‍රමාණයක් පන්සල් වත්ත වශයෙන් වෙන්කර එහි පොල් සිටුවා තිබේ. ඒ අග්ගඤ්ඤ හිමියන්ගේ මූලිකත්වයෙන් අද පවතිනා සංඝාවාසය (පන්සලගෙය) 1912 දී ඉදිකරවා තිබේ.
මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ක්‍රමය අනුව ඉදිකර ඇති විහාර මන්දිරයේ වැඩ නිමකර ඇත්තේ බු.ව. 2420 දිය. මේ ස්ථානයේ ක්‍රමික දියුණුවක් දැකිය හැක්කේ විහාරස්ථානය සමීපයේම විසූ ඉඩම් හිමි වැවිලිකරුවෙකු මෙන්ම පරිත්‍යාගශීලි දානපතිවරයෙකු වූ දොන් ජූලියස් විජේවර්ධන මූදලාලි මැතිතුමාගේ සම්බන්ධයෙන් පසුවය. විහාර කර්මාන්තයේ වැඩ නිමකර 34 වසරකට පසු එතුමාගේ ධන පරිත්‍යාගයෙන් සේයම් අත්කර තිබේ. ඝණ්ඨාර කුළුණ හා දෙමහල් සීමා මන්දිරය එම මූදලාලි මහතා විසින් සාදවා තිබේ.
චෛතය
1922 දී පමණ ආරම්භ කොට 1932 දී පමණ වැඩ නිමකොට ඇත. සාමාන්‍ය පොළව මට්ටමේ සිට අඩි 8ක් පමණ උසැති බීමක පිහිටි 45 රියනක් උසැති චෛතය ඉදිකිරීම සඳහා ප්‍රදේශ වාසීන් ගේ හා නොයෙක් ප්‍රදේශ වාසීන්ගේ ආධාර උපකාර ලැබී ඇති අතර ඉදිකිරීමේ වියදමෙන් හරි අඩක් පමණ දරා ඇත්තේ ඉහත සඳහන් මූදලාලි මැතිතුමාගේ දියණියක වන බටුවන්තුඩාවේ මැතිනිය ය.
චෛතය ඉදිකර ඇත්තේ සතර දිසාවට දොරටු සතරක් සහිතවය. ප්‍රධාන දොරටුව වන්නේ දිග හා පළල් පඩි පෙළකින් යුත් බස්නාහිර දිසාවේ දොරටුවය. එය විහාර මන්දිරයට මුහුණලා ඉදිකර ඇත. චෛතයේ කොත් පළඳවීම නිමිත්තකොට 1948 දී සති දෙකක පිරිත් පිංකමක් සහිත විශාල උත්සවයක් කරන ලදී. කොත් නිරාවරණය කිරීම බුරුම තානාපති තුමන් විසින් කරන ලදී.
ධර්මශාලාව
චෛතයයට දකුණු පසින් පිහිටි තෙමහල් ධර්මශාලාව 1930 පමණ ආරම්භ කොට 1932 දී නිමකරණ ලද්දකි. එය විවෘත කරන ලද්දේ අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරූ සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමන් විසිනි. වලානේ විසූ රොස්ලින් විජේවර්ධන මෙනෙවිය එතුමියගේ ධන පරිත්‍යාගයෙන් මෙම ධර්මශාලා ගොඩනැගිල්ල ඉදිකරවා තිබේ. මෙම විශාල ගොඩනැගිල්ල බෞද්ධ ගොඩනැගිලි සම්ප්‍රදායට අනුව ඉදිකිරීම ඉතාම ප්‍රශංසනීයයි. මෙහි තැන්පත්කර ඇති ධර්මාසනය සියුම් කැටයම් සහිතව කරවල ලීයෙන් කරවන ලද්දකි.
විශේෂ
මේ විහාරස්ථානයේ ඇති ධර්මශාලාව හැර සෙසු පැරණි ගොඩනැගිලි සියල්ලක් කොබොක් ගල් වැලි මැටි බොරළුයෙන් නිමකර තිබේ. හුණු යොදා ඇත්තේ අත්තිවාරමට හා ගෙඩොල් බැඳීමට පමණකි.
මේ ස්ථානයේ ගොඩනැගිලි ඉදිකිරීමේ තවත් විශේෂත්වයක් වේ. එනම් බස්නාහිර පෙදෙසේ සිට නැගෙනහිර පෙදෙසට ක්‍රමයෙන් උස්ව පිහිටා ඇති භූමියේ ක්‍රමයෙන් පහළම තැන දාන ශාලාවද, ඊට තරමක් උසකින සංඝාවාසය ද, එයට උස පෙදෙසේ සීමාමාලකය හා විහාර මන්දිරයද, එයට උස් තැන බෝධිය, චෛතය හා ධර්මශාලාවද, ක්‍රමයෙන් ඒ ඒ ගොඩනැගිලිවල ගරුත්වයට සරිලන ලෙස ගොඩනැගිලි ඉදිකර තිබීමය.
1815 වසරේදී පමණ කුඩා කුටියකින් ආරම්භවූ මේ සිද්ධස්ථානය 1948 පමණ වන විට සියළු විහාරාංගයන්ගෙන් සම්පූර්ණවූ ප්‍රදේශවාසී සැමගේ ගෞරවාදරයට හා භක්ති ප්‍රණාමයට සුදුසු පුණ්‍ය භූමියක් බවට පත්ව ඇත. 1961 සිට විහාරාධිපති පදවිය දරන ගරු බෙම්මුල්ලේ සෝරත නායක ස්වාමීන් වහන්සේ විසින් විහාරස්ථානයේ සංවර්ධනය හා සංරක්ෂණය සඳහා කරන ලද කටයුතු අතර 2001 ජනවාරි මස 29 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ලබාගෙන ඉමහත් පුද පෙරහරින් විහාරස්ථානය කරා වැඩමවා සිදු කළ බෝධි අංකුර රෝපණය ඉතිහාස ගතවන ප්‍රධාන කාර්යය වනවා ඇත.